Thursday, February 23, 2017

Madhawa Habarakada

පරිසර හිතකාමී (Eco Friendly) වී ජය ගන්න

ඔබ හා ඔබ ආයතනය, "පරිසර හිතකාමී" පුද්ගලයෙකු හා ආයතනයක් බවට පත්වීම, මේ කාලයේ ටිකෙන් ටික වැදගත් කරුණක් වෙමින් පවතින දෙයක්. ඔබ දැකල ඇති "පරිසර හිතකාමී" කියන වචන දෙක විවිධ තැන් වල භාවිතා වනවා. විදුලි උපකරණ, නිවෙස්, ගොඩනැඟිලි, රැකියා අවස්ථා පිළිබඳ දැන්වීම් වල සහ තවත් විවිධ ස්ථාන වල.



මොකද්ද මේ "පරිසර හිතකාමී" වෙනව කියන්නෙ???
 සරළවම මේ ගැන කිව්වොත්. පරිසර හිතකාමී වීම කියන්නෙ"පරිසරයට හානියක් / අනතුරක් සිදු නොවන චේතනාවෙන් ක්‍රියාත්මක වීම හා ජීවත් වීම" කියන එකයි. වෙනත් වචන වලින් කිවහොත්, අප හා පරිසරය අතර සිදුවන අන්තර් ක්‍රියාවලි හරහා පරිසරයට හානි වන ආකාරයේ ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීමයි.

මේක අදහසක් පමණක් නොවී, ප්‍රායෝගික භාවිතයට සම්බන්ධ වෙන්නෙ, සාමාජීය වශයෙන්, ව්‍යාපාර වශයෙන් හා පුද්ගලයින් වශයෙන්. පරිසර හිතකාමී වෙනවා කියන්නෙ, කාමරයෙන් එලියට යනකොට විදුලි පහන් නිවා යන එකවත්, ඔබ නිවසින් පිට කරන කැලි කසල වෙන් කරන එකවත් පමණක් නෙමෙයි. ඒක ඔබ ජීවත් වන්නේ කෙසේද යන්න අරමුණු කරගෙන සිදු කළ යුතු දෙයක් වෙනවා. 

බලශක්තිය ඉතිරි කරන, වායු/ජල/ශබ්ද දූෂණය වළකන, පරිසර හිතකාමී නිෂ්පාදන මගින් සැමවිටම පරිසර හිතකාමී ලෙස ජීවත් වීමට අනුග්‍රහය දක්වනවා. එම නිෂ්පාදන පරිසරයත්, මිනිසාගේ සෞඛ්‍යයටත් හිතකර ආකාරයට ක්‍රියාත්මක වන බව ඔවුන් සනාථ කරනවා. 

කොහොමද අපි පරිසර හිතකාමී වෙන්නෙ

ඔබ පරිසර හිතකාමී වෙන්න ආරම්භයක් වශයෙන්, ප්‍රථමයෙන්ම ඔබගේ ක්‍රියාකාරකම් හා තෝරාගැනීම් පරිසරයට බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්න තේරුම් ගත යුතු වෙනවා. 

පරිසර හිතකාමී වීම සඳහා ප්‍රධාන පියවර 3ක් තිබෙනවා. 
  1. පරිසරයට අවම හානියක් සිදු කරන දේ මොනවාද යන්න ඉගෙන ගැනීම, තෝරා ගැනීම හා පරිභෝජනය 
  2. ඔබගේ ක්‍රියාකාරකම් හරහා ඔබට ලැබී ඇති Carbon Footprint අගය හා එම අගය පහත හෙලීම සඳහා ක්‍රියාත්මක වීම. 
  3. ඔබ වටා සිටින අනෙකුත් අයටද සහය දෙමින්, පරිසර හිතකාමී හා තිරසාර සමාජයක් ඇති කිරීමට උත්සාහ කිරීම. 
ඔබට පෙනෙනාකාරයට, පළමු පියවර වන්නේ ඔබ ජීවත් වන ආකාරය, ඔබ පරිභෝජනය කරන දේ සම්බන්ධයෙන් සැණෙකින් ක්‍රියාත්මක වීමයි. ඉන් අදහස් වන්නේ ඔබ වාහනය පැදවීම, ඔබ භාවිතා කරන ඇසුරුම්, ඔබ කසළ ඉවත් කරන ආකාරය හා ඔබ සම්පත් භාවිතා කරන ආකාරය වැනි ඔබගේ ජීවන පුරුදු වෙනස් කර ගැනීමයි.

දෙවන පියවරෙහිදී ඔබ ඔබගේ Carbon Footprint අවම කර ගැනීම සඳහා අවශ්‍ය වෙනස්වීම් සිදුකළ යුතු වනවා. ඒ සඳහා ඔබ ජීවත් වන නිවස, පදවන වාහනය, ඔබගේ රැකියාව, වැනි දේ සම්බන්ධයෙන් ඇති ක්‍රියාකාරකම් හරහා ඔබට ඇති වගකීම අනුව ඔබගේ Carbon Footprint අවම කර ගැනීමට ඔබගේ හැකියාව අනුව ක්‍රියාත්මක විය යුතු වනවා.

මොකද්ද මේ Carbon Footprint කියන්නෙ?
සරළව කිව්වොත් මේකෙන් අදහස් වන්නේ ඔබගේ ක්‍රියාකාරකම් වලට හා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවන් සඳහා වැයවී ඇති බලශක්තිය, සම්පත්, අමුද්‍රව්‍ය හරහා ඔබ විසින් පරිසරයට මුදා හැර ඇති කාබන් ප්‍රමාණයයි. 

තෙවන හා අවසාන පියවරෙහිදී ඔබ පරිසර හිතකාමී වන පුද්ගලයින්, ප්‍රජාවන්, හා සමාගම් තෝරාගනිමින්, ඔවුන් සමභ සම්බන්ධ වී එම පරිසර හිතකාමී ක්‍රියාවලීන්ට සම්බන්ධ වෙමින් හා සහය වෙමින් ඒවා දියුණු කිරීමට ක්‍රියාකාරී ලෙස සහභාගී වෙමින් තිරසාර ජීවන රටාවක් නිර්මාණයට සම්බන්ධ විය යුතු වනවා. මෙම ක්‍රියාවලිය පෙනෙන තරම් පහසු ක්‍රියාවක් නොවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසයි එය අවසානයට සඳහන්ව ඇත්තෙ. තිරසාර සමජයක් හා ආර්ථිකයක් වෙනුවෙන් සහය දෙමින් ජීවත් වන විට සමහරවිට ඔබ පෙර අත්විඳි පහසුකම් සමහරක් නැති වන්නට ඉඩ තිබෙනවා. ඔබ ඊට අනුකූල වීමට යම් වෙහෙසක් දැරීමට සිදු වුවත්, පසුව එය වඩා වාසිදායක දෙයක් බව ඔබටම වැටහේවි. 

පරිසර හිතකාමී වීම සඳහා පහත පියවර කිහිපය අනුගමනය කරන්න.

1. කසළ කළමණාකරණය සඳහා 4R සංකල්පය භාවිතා කරන්න

මොකද්ද මේ 3R? 3R කියන එක හැදිල තියෙන්නෙ Reduce, Reuse, Recycle, Recover කියන වචන ත්‍රිත්වයෙන්. මේ සංකල්පය හරහා ඔබට හැකි වනවා උපදින කැළි කසළ ප්‍රමාණය අවම කිරීමටත්, කසළ කළමණාකරණය වැඩි දියුණු කිරීමටත්. මුලදී මෙහි Recover කියන එක තිබුනේ නෑ. එය පසුව එකතු වූවක්. 


Reduce (අවම කරන්න)
ඔබ භාවිතා කරන අමුද්‍රව්‍ය, භාණ්ඩ ප්‍රමාණය අවම කිරීම හරහා කසළ ජනිත වන ප්‍රමාණයද අවම කළ හැකි වනවා. උදා: පොලිතින් බෑග් භාවිතය අවම කිරීම

Reuse (නැවත භාවිත කරන්න)
එකම භාණ්ඩය නැවත නැවත භාවිතය හරහාද ඔබට හැකි වනවා කසළ ජනිත වන ප්‍රමාණයද අවම කරන්නට. උදා: එකම පොලිතින් බෑගය කිහිප වරක් භාවිතය

Recycle (ප්‍රතිචක්‍රීකරණය කරන්න) 
භාවිතයෙන් ඉවත් කරන භාණ්ඩයක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමෙන් ඔබට හැකි වනවා පරිසරයට මුදා හැරෙන කසළ ප්‍රමාණය අවම කරන්නට.
උදා: භාවිතයෙන් ඉවත්කරන පොලිතින්, ප්ලාස්ටික් භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර දීම

Recover (ආපසු ලබාගන්න)
ඔබ භාවිතෙයෙන් භාණ්ඩයක් ඉවත් කරන විට, එය නැවත භාවිතය හෝ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැක්කක් නම්, ඉන් ලබා ගත හැකි කොටස් පමණක් හෝ ලබා ගැනීමෙන්, ඉන් වන පරිසර හානිය පාර්ශවිකව හෝ අවම කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.
උදා: ගොඩනැඟිල්ලක බිත්තියක් ඉවත් කර නව බිත්තියක් ගොඩනැඟීමේදී ඉවත් කරන ලද බිත්ති කොටසින් ලබා ගන්නා ලද ගඩොල් නැවත එතැනම හෝ වෙනත් ගොඩනැඟීම් කරයුත්තකට භාවිතා කිරීම. 

2. ජලය අරපරිස්සමින් භාවිතා කරන්න

පිරිසිදු ජලය කියන්නෙ මේ ලෝකයේ තිබෙන ඉතාම වටිනා සම්පතක්. ලෝකයේ ඇති සියළුම ජල ප්‍රමාණයෙන්, පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය තිබෙන්නේ 1%කටත් අඩු ප්‍රමාණයක්. එයිනුත් වැඩි ප්‍රමාණයක් භූගත ජලය හා අයිස් ලෙසයි පවතින්නේ.
ශ්‍රී ලංකාව තුළ පිරිසිදු ජල මූලාශ්‍ර ඕනෙ තරම් තිබුණත් ලංකාවෙ වුවත් නාගරික ජනතාව බොහොමයක් දෙනා භාවිතා කරන්නෙ නල ජලය හෝ බෝතල් කළ ජලය. ඉතින් ඒ ජලය පිරිසිදු කරන ක්‍රියාවලිය සඳහා බලශක්තිය වැය වනවා. ඉතින් ඔබ ජලය අපතේ හරිනවා කියන්නේ ස්වභාවිත සම්පතක් අපතේ හරිනවා හා බලශක්තිය අපතේ හරිනවා වනවා. බලශක්තිය අපතේ හරින විට ඒ වෙනුවෙන් යළිත් සම්පත් අපතේ යාමක් හා පරිසර දූෂණයක් සිදු වනවා. මේ හේතූන් නිසා පිරිසිදු ජලය ආරක්ෂා කරගැනීම හා අරපරිස්සමින් පරිභෝජනය ඔබ අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තක් වනවා. 


  
3. විදුලි බලය අරපරිස්සමින් භාවිතා කරන්න.

ලංකාව තුළ විදුලිබලය නිපදවන ප්‍රධාන ක්‍රම වන්නේ ඛනිජ ඉන්ධන (ඩීසල්, ගල් අඟුරු) හා ජල ප්‍රභවයන් හරහායි. විදුලිබලය අපතේ යවන විට ඒ හරහා ඔබ සිදු කරන්නේ ඒ බල ශක්තිය අපතේ යැවීමත් සමභ සීමිත සම්පත් වන ඛනිජ ඉන්ධන හා ජලය අපතේ හැරීමක්. ඒ හරහා ස්වභාවික සම්පත් ක්ෂය වීමට අමතරව පරිසර දූෂණයක්ද සිදු වනවා.
ඉතින් විදුලි බලය අපතේ යාම වළක්වන ඔබ, ඔබගේ විදුලි බල වියදම අවම කරගන්නවා සේම පරිසර දූෂණය හා ස්වභාවික සම්පත් වල අපතේ යාම් වැළැක්වීමට ක්‍රියාකාරී ලෙස සහභාගී වන පරිවර හිතකාමී පුද්ගලයෙකු බවට පත් වනවා. 

4. තවත් ගස් සිටුවන්න.

ඔබ දන්නවා ඇයි අපිට වැඩියෙන් ශාක අවශ්‍ය වන්නේ කියල. ඔවුන් තමයි අපිට පිරිසිදු ඔක්සිජන් වායුව ලබා දෙන්නේ. ඊට අමතරව, ආහාර, ලී, පාංශු ඛාදනය පාලනය, ගංවතුර පාලනය, සත්ව ප්‍රජාවට සෙවණ වැනි දේද ශාක විසින් ලබා දෙනවා. පසුගිය දශක කිහිපය තුළ සිදුවූ අති විශාල වන විනාශය, පෘථිවිය මත ඇති වනාන්තර ප්‍රමාණය විශාල ප්‍රතිශයකින් පහත හෙලා තිබෙනවා. 
ඉතින්, පොළව මත ඇති ගස් ප්‍රමාණය වැඩි කිරීමෙන්, වඩා පිරිසිදු හා හිතකාමී පරිසරයක් ඇති කිරීමට අප හට හැකි වනවා.  අනාගත පරපුරට පිරිසිදු වාතය ආශ්වාස කිරීම වෙනුවෙන් ගස් වැල් ආරක්ෂා කරගැනීම, පරිසර හිතකාමී ඔබගේ හා අපගේ පරම වගකීමක් වනවා. 

5. ප්‍රාදේශීය ජල මූලාශ්‍ර ආරක්ෂා කරන්න.

ඉහත අංක 2හිදී සඳහකන් කළ පරිදි, පිරිසිදු ජලය වටිනා සම්පතක්. එම නිසා තීන්ත, ඇමෝනියා, වැනි විශ සහිත රසායනික, රසදිය අඩංගු ප්‍රතිදීපන පහන් වැනි විශ අමුද්‍රව්‍ය හෙබි උපකරණ, කිසිසේත්ම පසට හෝ ජලයට මුදා නොහැරිය යුතු වනවා. මක්නිසාද යත්, ඒවා පාංශු ජලයට එකතු වීමෙන්, පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය දූෂණය වීම සිදු වන නිසා.
ඔබටත් පුළුවන් ප්‍රාදේශීය ජල සංරක්ෂණය සම්බන්ධව සමාජ, කණ්ඩායම් ඉන්නවා නම් ඔවුන් සමඟ එකතු වී තම කාර්මික කසළ ජල මූළාශ්‍ර වලට මුදා හරින පරිසර දූෂකයින්ට එරෙහිව සටන් වදින්නට. 

6. අඩුවෙන් රිය පදවන්න, වැඩියෙන් ඇවිදින්න. 

ඔබට පරිසර හිතකාමී පුද්ගලයෙකු විය හැකි පහසුම ක්‍රමයක් තමයි පුද්ගලික රියකින් ගමන් කිරීම නවතා පොදු ප්‍රවාහන සේවය හෝ හැකි දුරක් නම් පා ගමනින්ම ගමන් බිමන් සිදු කිරීම. මිතුරෙකු සමඟ එකට ගමන් කර, බසයක ගමන් කර, ආසන්නයේ ඇති වෙළඳපළට පා ගමනින් ගොස් භාණ්ඩ මිලට ගැනීමට, ඔබගේ Carbon Footprint අගය අවම වීමට හේතුවක් වනු ඇති. ඉන් ඔබට මූල්‍ය වාසියකුත්, ශරීරයට ව්‍යායාමයකුත් ලැබෙන්නේ ඔබට නොදැනීමයි. ඔබගේ නවාතැනේ සිට කාර්යයාලයට ඇත්තේ කිලෝමීටරයක් නම් ස්වල්ප වේලාවක් ඉක්මනින් පිටත් වී පා ගමනින් ගමන් කිරීම ඔබට එදිනට අවශ්‍ය කරන ශාරීරික ව්‍යායාම ප්‍රමාණයෙන් කොටස පහසුවෙන්ම ආවරණය කරනවා ඇති. ඊට වඩා ටික දුරක් නම් පා පැදියක් භවිතා නොකරන්නේ ඇයි
නව තාක්ෂණයත් සමඟ පැමිණ ඇති Ride Sharing ක්‍රමයක් සමඟ සම්බන්ධ විය හැකි නම් සැප පහසුවත් එක්කම ඔබට පහසුවෙන් ඔබගේ ගමනාගමන කටයුතු කර ගැනීමට හැකි වනවා. 

7. වඩා කාර්යක්ෂම උපකරණ / භාණ්ඩ මිලදී ගන්න. 

5 Star Energy Rating තිබෙන විදුලි උපකරණ භාවිතා කිරීමට සැමවිටම උත්සාහ කරන්න. එම උපකරණ අඩු බලශක්තියක් වැය කරමින් වැඩි ප්‍රතිඵල ලබා දෙන පරිසර හිතකාමී වන උපකරණ වනවා. උදාහරණයක් වශයෙන් LED පහන් සම්ප්‍රදායික සූත්‍රිකා පහන් වලට වඩා 90%ක පමණ බලශක්තියක් ඉතිරි කරන අතර සූත්‍රිකා පහන් වලට වඩා දස ගුණයකට වඩා ආයු කාලයක් තිබෙනවා. එවන් උපකරණ මිළට ගැනීමෙන්, ඔබ එම උපකරණය භාවිතයෙදී වැය කරන බලශක්තිය අවම වනවා හා ආයු කාලය අඩු උපකරණ වලින් පරිසරයට එකතු වල කසළ අවම කරනු ලබනවා. ඉන් ඔබට මූල්‍යමය වාසියක් හා ඔබ පරිසර දූෂණය අවම කිරීමට සහය ලබා දී තිබෙනවා. 


8. ප්‍රාදේශීයව වගා කරන ලද එලවළු වර්ග මිලට ගන්න.

ඔබ ප්‍රදේශයේම වගා කරන ලද එළවළු මිලට ගන්නා විට ඔබ වක්‍රාකාරයෙන් ඔබගේ Carbon Footprint අඩු කරගනු ලබනවා. ඒ කෙසේද යත්, ඇසුරුම් වලට භාවිතා කරන ප්ලාස්ටික් අසුරන, එළවළු ප්‍රවාහනයට වැයව ඇති ඉන්ධන, අනවශ්‍ය ඇසුරුම් මාධ්‍යයන් අවම වීම හේතුවෙන් ඔබ එවන් දේ සඳහා වැය වන බලශක්තිය ඔබගේ ක්‍රියාකාරකම සඳහා සම්බන්ධ කරගෙන නොමැති නිසාවෙන්.
ඔබටම ඔබට අවශ්‍ය එලවළු, පළතුරු වගා කරගත හැකි නම්? ඔබගේ Carbon Footprint ඉතාමත් අඩු අගයකට පහත වැටෙනවා.

9. කසළ හැකි තරම් අවම කරන්න.

කසළ, ගොඩනැඟිලි තැනීමේදී හා ඉවත් කිරීමේදී, නිවෙස් වලින්, කර්මාන්තශාලා වලින්, රථ වාහන වලින්, පදිකයින් මගින් වැනි බොහොමයක් ක්‍රම වලින් නිෂ්පාදනය වනවා. ඉතින් එම කසළ නිපදවීම හා තැන තැන දැමීම අවම කිරීම අතිශය අවශ්‍ය වනවා. කැළි කසළ අනවශ්‍ය ස්ථාන වල දැමීම නිසා එය වනසතුන්ට, සංචාරක ව්‍යාපාරයට වැනි අංශ වලට සෘණාත්මක ලෙස බලපානවා. වගකිවයුතු පුරවැසියන් වශයෙන් අපගේ වගකීම වන්නේ අපගේ පරිසරය, නගරය පිරිසිදුව පවත්වාගෙන යාම හා එලෙසම ඒවා පවත්වාගෙන යාමට අපගේ දරු මුණුපුරන් හුරු කිරීමයි. 

10. ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදන මිලට ගන්න.

ඔබගේ නිවසට භාණ්ඩ මිලට ගන්නා අවස්ථා වලදී හැකි සෑම විටම ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය වලින් සකසන ලද නිෂ්පාදන මිලට ගැනීමට උත්සාහ කරන්න. එය ඔබව පරිසර හිතකාමී හා පරිසරය වෙනුවෙන් වගකීමක් දරන පුද්ගලයෙකු බවට පත් කරනවා. එපමණක් නොව වෙළඳපළට යන සැම විටම නිවසෙන් රෙදි බෑගයක් රැගෙන යන්නට උත්සාහ කරන්න, නැතිනම් ප්ලාස්ටික්. පොලිතින් බෑග් නැවත නැවත් භාවිතා කරන්න. එවිට ඔබට පොලිතින් අසුරන නැවත මිලට ගැනීමට සිදු නොවනවා පමණක් නොව, සැළකිය යුතු පරිසර දූෂණයක් ඔබ විසින් වළකනු ලබන අතර, ස්වභාවික සම්පත් වලද ඉතිරියක් ඔබ විසින් සිදු කරනවා.  

11. පරිසර සංගම් හා සම්බන්ධ වී පරිසර දූෂණයට එරෙහිව ක්‍රියා කරන්න. 

මේ ලෝකය හා පරිසරය රැක ගැනීම ඔබද ඇතුළු අප සියළුම දෙනාගේ වගකීමක් වනවා. ඔබට කැමැත්තක් තිබෙනවා නම්, ඔබට හැකියාව තිබෙනවා පරිසර සංරක්ෂණ සංගමයකට සම්බන්ධ වී පරිසර දූෂණය වැළැක්වීම හා පරිසරය රැක ගැනීම වෙනුවෙන් සටනක් දෙන්නට. ඔබට ඉන් හැකියාව ලැබෙනවා මේ ලෝකය වඩා පරිසර හිතකාමී ස්ථානයක් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස සහභාගී වන්නට. 

පරිසර හිතකාමී ජීවන රටාවක්

පරිසර හිතකාමී ජීවිතයක් ගත කරන ඔබට ඉන් ලැබෙන වාසි හා අවාසි දෙකම තිබෙනවා. මුලදී පැවසූ ආකාරයට, ඔබට සමහරවිටෙක නවතම තාක්ෂණය හා පහසුකම් වලින් ඉවත්වන්නට සිදු වෙන්නට ඉඩ තිබෙනවා.
බොහොමයක් නොවෙයි, නමුත් ක්ෂණික ආහාර, ඉතා සුළු දෙයක් කර පරිසරයට විශාල බරක් වන සමහර සුඛෝපභෝගී ක්‍රියාකාරකම් වගේ දේවල්. එක් හොඳම උදාහරණයක් තමයි පුද්ගලික මෝටර් රථය. ය්ථානුරූපීවම ඔබට ඔබගේම පුද්ගලික මෝටර් රථයක් අවශ්‍ය වනවා වන්නට පුළුවන්. නමුත්, අත්‍යවශ්‍ය පරිසර සම්පත් වැය කරන, ප්‍රායෝගික නොවන අති සුඛෝපභෝගී පහසුකම් සහිත, ඉතා පහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මෝටර් රථයක් භාවිත කිරීම ඔබ සිදු නොකළ යුතු වනවා. එය ඉහළ පරිසර දූෂණයක් සිදු කරන්නක් වන අතර ඉන් ඔබගෙ Carbon Footprint අගයද අතිශය ඉහළ නංවනවා. 
ඔබ ඉහළ පහසුකම් සහිත, අති සුඛෝපභෝගී SUV මෝටර් රථයක් භාවිතා කරන්නට ගත්තා වන්නට පුළුවන්. නමුත් රළු, දුෂ්කර මාර්ග වල කිසිදා නොයන ඔබ එවන් පරිසරයට බරක් වූ, ඉතා අඩු ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මෝටර් රියක් භාවිතා කළ යුතුද? දිනපතා දිගු දුරක් මෝටර් රිය ධාවනය කරන ඔබ, ඉතා අඩු ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මෝටර් රියක් පැදවීම සාධාරණද? එවන් ක්‍රියාකාරකම් වලින් ඔබගේ මුදලද, සියළු දෙනාටම ඇති පරිසරයද විනාශ වනවා ඔබට පෙනෙනවාද

පරිසර හිතකාමී ව්‍යාපාර

පරිසර හිතකාමී ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා මූලිකම සාධක වන්නේ ඔබගේ සේවා හා නිෂ්පාදනයන් වලදී ඇතිවන නාස්තිවීම් හා පලුදු නිෂ්පාදන අවම කිරීමත්, බලශක්තිය භාවිතය හැකිතරම් අවම කිරීමත් කියන අයිතමයන් දෙකයි. පරිසරයට අවම හානියක් සිදු වන අකාරයට ඔබගේ භාණ්ඩ නිෂ්පාදනය, ඇසිරීම, සිදු කිරීමටත්, ඔබගේ භාණ්ඩ හා සේවා පිළිබඳ ප්‍රචාරණය සිදු කරන්නටත් විවිධ ක්‍රම තිබෙනවා. ව්‍යාපාරයක් වශයෙන්, කාර්යක්ෂම ලෙස බලශක්තිය භාවිතා කරන්නටත් හයිබ්‍රිඩ් තාක්ෂණයක් භාවිතා කරන සැපයුම්කරුවන් හා සම්බන්ධවී ඒ හරහා සමාජයට ධනාත්මක බලපෑමක් කිරීමටත් ඔබට හැකියාව තිබෙනවා. 

පරිසර හිතකාමී සමාජයක්

පරිසර හිතකාමී සමාජයක් ඇති කිරීම ටිකෙන් ටික පහසු වෙමින් පවතිනවා. සැමදෙනාම ටිකෙන් ටික පරිසරය ගැන සිතන්නට ආරම්භ කරන සිටිනවා. සියළුම සමාජය මේ සඳහා ක්‍රියාකාරී ලෙස සහභාගී වනවා නම් පරිසරය ආරක්ෂා කිරීම ඉතා පහසු ක්‍රියාවක් වනවා. ඔබ ප්‍රදේශයේ එසේ පරිසර සංරක්ෂණ සමාජ වැනි දේ නැති නම් ඔබටම වුවත් මිතුරන් හා නෑදෑයින් කිහිප දෙනෙක් එකතු කරගෙන එවන් එකක් ආරම්භ කරන්නට වුවත් හැකි වනවා.

ඔබගේ වගකීම

මෙතෙක් වේලා මෙ ලිපිය කතා කළේ ඔබ වෙනුවෙන් හා ඔබගෙන් මතු ඔබගේ දරු මුණුපුරන්ගේ මතු පරම්පරාවන් වෙනුවෙනුයි.
ඔබ අද ක්‍රියා කරන ආකාරය අනුව ඔබගේ මතු පරපුරේ අනාගතය රඳා පවතිනු ඇත. ඔබ අද අපතේ යවන ස්වභාවික සම්පත් අනාගත පරපුරට අහිමි කිරීම තුළින්, ඔබ අද දූෂණය කරන පරිසරය අනාගත පරපුරට අහිමි කිරීම තුළින්, ඔබේම දරු මුණුපුරන්ගෙන් ඔබ බැණුම් ලබනු ඇත,

පරිසර හිතකාමී ලෙස අද ක්‍රියාත්මක වීම, අද ඔබටත්, හෙට ඔබගෙ දරුවන්ටත්, තිරසාර ලෝකයක් උරුම කරනු ඇත. 

----------------------------------------------------------------------------------------------------------
කතුවරයා පිළිබඳව
Madhawa Habarakada (AMIE(SL), Bsc. Eng (Hons) in Materials Engineering, GreenSL (R) AP)
Contact: madhawa[at]engineer[dot]com 
Web: http://www.madhawaweb.tk
----------------------------------------------------------------------------------------------------------

Subscribe to this Blog via Email :